Monday, September 16, 2024

භික්ෂුණී ශාසනය ආරම්භ වූ බිනර පොහොය

සම්බුද්ධ ශාසනයේ භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ උතුම් බිනර පසළොස්වක පොහෝ දිනක විශාලා මහනුවර කූටාගාර ශාලාවේ දී ය.


අප බුදුපියාණන් වහන්සේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයේ වැඩ වෙසෙන සමයෙක වරක් මහාප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේ වෙත එළඹ කාන්තාවන්ට පැවිද්ද අනුදනින‍ ලෙස ඉල්ලා සිටියා ය. එහි දී එම ඉල්ලීම බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

නැවත බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහාප්‍රජාපතී ගෝතමිය බොහෝ ශාක්‍ය කුල කුමරියන් පිරිසක් සමඟ කෙස් බා, කසාවත් හැඳ විශාලා මහනුවර වෙත පා ගමනින් පැමිණියාය. පැමිණ දුහුවිලි තැවරුණු පාවලින් යුතුව බැහැර දොර කොටුවේ සිටි අතර එය දුටු ආනන්ද මාහිමිපා‍ණෝ කරුණු විමසා බුදුපියාණන් වහන්සේට සැල කළහ. මහාප්‍රජාපතී ගෝතමිය කාන්තාවන්ට පැවිද්ද ‍ඉල්ලා සිටින බව බුදුපියාණන් වහන්සේට දැනුම් දුන් අතර බුදුපියාණන් වහන්සේ නැවත ද එය ප්‍රතික්ෂේප කළ සේක. තුන්වරක් ඉල්ලා ප්‍රතික්ෂේප කළ පසු අනඳ මාහිමියෝ වෙනත් ක්‍රමයකට එය මෙසේ ඇසූහ.

"ස්වාමීනි, කාන්තාව මේ ශාසනයේ පැවිදිව සෝතාපත්ති ඵලය, සකදාගාමී ඵලය, අනාගාමී ඵලය, අර්හත් ඵලය ලැබීමට භව්‍ය ද?"

"ආනන්ද, කාන්තාව මේ ශාසනයේ පැවිදිව සෝතාපත්ති ඵලය, සකදාගාමී ඵලය, අනාගාමී ඵලය, අර්හත් ඵලය ලැබීමට භව්‍යය"

"ස්වාමීනි, ඉදින් භව්‍ය නම්; මහාප්‍රජාපතී ‍ගෝතමිය නුඹ වහන්සේ ඇති දැඩි කළා, පෝෂණය කළා, බොහෝ උපකාර කළා. මව් බිසෝ තුමිය කළුරිය කළ තැන් පටන් කිරි පොවා පෝෂණය කළා. ස්වාමීනි, කාන්තාව මේ ශාසනයේ පැවිද්ද ලබාවා"

මෙහි දී බුදුපියාණන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා උදෙසා අෂ්ට ගරු ධර්ම පනවා වදාළ සේක. මහාප්‍රජාපතිය මෙම අෂ්ට ගරුධර්ම පිළිගන්නේ නම් එය ම ඇයට උපසම්පදාව වන බව වදාළ සේක.

1. උපසම්පදාවෙන් සියක් වස් ඇති භික්‍ෂුණියක් විසින් නමුදු එදවස උපසපන් භික්‍ෂුවට වුවද සකසා වැඳීම්, දැක හුනස්නෙන් නැගිටීම්, ඇඳිලි බැඳීම්, මඟ ඉඩ දීම් ආදි සාමීචිකර්ම කළ යුතු ය.

2. භික්‍ෂුණියක් විසින් භික්‍ෂුණී ආරාමයෙන් අඩයොදුනක් ඇතුළත අවවාද දෙන භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස් නොවිසිය යුතු ය. 

3. භික්‍ෂුණියක් විසින් අඩමසක් පාසා භික්‍ෂු සංඝයා වෙතින් උපොසථය විමසීම සහ අවවාද ලබා ගැනීම කැමති විය යුතු ය. 

4. වස් වැස නිම වූ භික්‍ෂුණිය විසින් උභය සඞ්ඝයා වෙත වස් පවාරණය කළ යුතු ය. 

5. ගරු ධර්මයකට එනම් සඟවෙසෙස් ඇවැතකට පත් වූ භික්‍ෂුණිය විසින් භික්‍ෂු භික්‍ෂුණී උභය සඞ්ඝයා කෙරෙහි දින 15 ක් ගරු බුහුමන් පිණිස වන වත් පිළිවෙත් (මානත) පිරිය යුතු ය. 

6. සික්ඛමානාවක් ලෙස වසර දෙකක් ශික්ෂාපද 6ක් අඛණ්ඩව රැක භික්‍ෂු භික්‍ෂුණී උභය සඞ්ඝයා කෙරෙහි උපසම්පදාව කැමති විය යුතු ය.

7. භික්‍ෂුණියක් විසින් කිසිදු කරුණෙකින්  භික්‍ෂුවකට  ආක්‍රෝශ නොකළ යුතු ය. පරිභව නොකළ යුතු ය. 

8. භික්ෂුණීන් විසින් භික්ෂූන්ට අවවාද දීම නොකළ යුතු අතර භික්ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද දිය යුතු ය. 

මහාප්‍රජාපතී ගෝතමිය වෙත එළඹුණු අනද මාහිමිපාණෝ මෙම අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ නම් පැවිද්ද හා උපසම්පදාව ලැබෙන බව පැවසූහ. 

එහි දී මහාප්‍රජාපතී ගෝතමිය 'ස්වාමීනි, අනඳ මාහිමිපාණන් වහන්ස, යම් කිසි තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස නා නිල් මහනෙල් මල් මාලයක්, දෑ සමන් මාලයක් ලැබ දෝතින් පිළිගෙන හිස මුදුනේ තබා ගන්නා සේ මම මේ අෂ්ට ගරුධර්මයන් දිවි ඇති තාක් නො ඉක්මවීම පිණිස පිළිගනිමි.' යැයි පවසා පිළිගත්තාය.

උතුම් බිනර පුන් පොහෝ දින මෙසේ මහාප්‍රජාපතිය බුදුපියාණන් වහන්සේ වෙතින් අෂ්ට ගරු ධර්ම පිළිගෙන පැවිදි උපසම්පදාව ලැබූ අතර එයින් භික්ෂුණී ශාසනය ආරම්භ විය.


ඡායාරූප: අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුවන් සතු ය.

සා මාගධී මූලභාසා



Saturday, September 14, 2024

වාක්‍ය නිර්මාණය සහ විභක්ති

වාක්‍ය නිර්මාණය සහ විභක්ති

§6. පද කිහිපයක් කිසියම් අර්ථවත් ආකාරයකට පෙළ ගැස්වීම වාක්‍යයක් ලෙස හැඳින්විය හැකි ය. ‘බුද්ධො ධම්මං දෙසෙති (බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සේක)’ යනු වාක්‍යයකි. එහි ‘බුද්ධො’ යනු ද ‘ධම්මං’ යනු ද නාමපද වේ. ‘දෙසෙති’යනු ක්‍රියාපදයකි. 

§7. නාමපදයක් වාක්‍යයක නොයෙක් ආකාරයෙන් යෙදේ. ඇතැම් විට වාක්‍යයේ කර්තෘ හෙවත් ක්‍රියාව කරන්නා ලෙස ද තවත් සමහර විට ක්‍රියාවට යටත් වන කර්මය ලෙස ද තවත් සමහර විට අයිතියක් හඟවන පදයක් ලෙස ද යනාදි නොයෙක් ආකාරයෙන් යෙදේ. මෙසේ නාමපදයක් වාක්‍යයක යෙදෙන අවස්ථාව අනුව විභක්තිගත කිරීම කළයුතු වේ. 

ඒ අනුව විභක්ති 9 ක් හඳුනාගත හැකි වේ.



Sunday, September 8, 2024

අකාරාන්ත පුල්ලිඞ්ග ‘බුද්ධ’ ශබ්දය

අකාරාන්ත පුල්ලිඞ්ග ‘බුද්ධ’ ශබ්දය

§13. නාමපදයක අන්ත භේදය එහි ශබ්ද ප්‍රකෘතිය අනුව තීරණය කළ යුතු ය. බුදුරජාණන් වහන්සේ හඳුන්වන ‘බුද්ධ’ ශබ්දයේ ප්‍රකෘතිය වන්නේ ‘බුද්ධ’ යන්න යි. ඒ අනුව එය ‘අ’ යන්නෙන් අවසන් වේ. එහෙයින් අ කාරාන්ත ශබ්ද ලෙස හැඳින්වේ.

‘බුද්ධ’ ශබ්දය පුල්ලිංග ශබ්දයක් වේ. එහෙයින් අකාරාන්ත පුල්ලිංග බුද්ධ ශබ්දයේ වර නැගීම පහත පරිදි වේ.


§14. විශේෂ කරුණු:

1. බුද්ධ ශබ්දය මෙන් වරනැගෙන අකාරාන්ත පුල්ලිංග ශබ්දවල පඨමා ඒකවචනය ‘ඔ’කාරාන්තව වරනැගෙන අතර පඨමා බහුවචනය ‘ආ’කාරාන්තව වරනැගේ. 

2. ආලපන බහුවචනය පඨමා බහුවචනයට සමාන වේ.

3. දුතියා ඒකවචනය ‘අං’ ශබ්දයෙන් කෙළවර වන අතර බහුවචනය ‘එ’කාරාන්තයෙනි.

4. සෑම ශබ්දයක ම තතියා විභක්තිය සර්වාකාරයෙන් ම කරණ විභක්තියට සමාන වේ. එහි ලා ඒකවචනය ‘එන’ ශබ්දයෙන් කෙළවර වන අතර බහුවචනය ‘එභි, එහි’ ශබ්දයන්ගෙනි. 

5. සෑම ශබ්දයක ම තතියා බහුවචනය පඤ්චමී බහුවචනයට සමාන වේ.

6. චතුත්‍ථි ඒකවචනය ‘ආය, ස්ස’ ශබ්දයන්ගෙන් කෙළවර වන අතර මෙම ‘ස්ස’ ශබ්දය සෑම ශබ්දයක ම ඡට්ඨි ඒකවචනය හා සමාන වේ.

7. සෑම ශබ්දයක ම චතුත්‍ථි බහුවචනය ඡට්ඨි බහුවචනය හා සමාන වේ.

8. පුල්ලිංග සෑම ශබ්දයක ම පඤ්චමී ඒකවචනයේ ‘ම්හා, ස්මා’ ශබ්දයන්ගෙන් කෙළවර වන රූප දක්නට ලැබේ. අකාරාන්ත පුල්ලිංග ශබ්දවල ‘ආ’කාරයෙන් කෙළවර වන ශබ්දයක් ද අතිරේකව ඇත.

9. පුල්ලිංග සෑම ශබ්දයක ම සත්තමී ඒකවචනයේ ‘ම්හි, ස්මිං’ ශබ්දයන්ගෙන් කෙළවර වන රූප දක්නට ලැබේ. 

10. සෑම ශබ්දයක ම සත්තමී බහුවචනයේ ‘සු’ යන්නෙන් කෙළවර වන ශබ්ද දක්නට ලැබේ.

සා මාගධී මූලභාසා



Wednesday, September 4, 2024

පාලි භාෂාවේ පද

§5. පාලි භාෂාවේ ඇති පද (1) නාමපද, (2) ආඛ්‍යාත, (3) උපසර්ග, (4) නිපාත යනුවෙන් සතර වැදෑරුම් වේ.

1. නාම : කිසියම් සත්ත්වයෙක්, පුද්ගලයෙක් හෝ ද්‍රව්‍යයක් හඳුන්වන පද නාමපද නම් වේ.

උදා: බුද්ධ (බුදුරජාණන් වහන්සේ) යනු නාමපදයකි.

2. ආඛ්‍යාත : කිසියම් ක්‍රියාවක් හඳුන්වන පද ක්‍රියාපද හෙවත් ආඛ්‍යාත නම් වේ.

උදා: පචති (පිසයි) යනු ක්‍රියාපදයකි.

3. උපසර්ග : පදයක් මුලට යොදන ‘ප, පරා’ ආදි පද උපසර්ග නම් වේ. 

4. නිපාත : විශේෂ වර නැගීමක් නොමැතිව සෑම තන්හි ම එක ම ආකාරයෙන් යොද අර්ථය විශේෂ කොට කීමට උපකාර වන්නා වූ ‘එවං’ ආදි පද නිපාත නම් වේ.


Tuesday, September 3, 2024

01. පාලි භාෂාවේ අක්‍ෂර මාලාව

§1. අක්‍ෂර: පාලි භාෂාවේ අක්‍ෂර 41 කි. මෙය ස්වරාක්‍ෂර 8 කින් සහ ව්‍යඤ්ජනාක්‍ෂර 33 කින් සමන්විත වේ.

අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඔ

ක, ඛ, ග, ඝ, ඞ

ච, ඡ, ජ, ඣ, ඤ

ට, ඨ, ඩ, ඪ, ණ

ත, ථ, ද, ධ, න

ප, ඵ, බ, භ, ම

ය, ර, ල, ව, ස, හ, ළ

අං

§2. ස්වර : තනිව ශබ්ද කළ හැකි අක්‍ෂර ස්වර හෙවත් ප්‍රාණාක්‍ෂර ලෙස හැඳින්වේ. අ කාරයේ පටන් ඔ කාරය අන්තකොට ඇති අක්‍ෂර අට (8) ස්වර ලෙස හැඳින්වේ.

ස්වර අක්‍ෂර අතර අ, ඉ, උ අක්‍ෂර තුන හ්‍රස්වව හෙවත් කෙටියෙන් උසුරුවන අතර ආ, ඊ, ඌ, එ, ඔ අක්‍ෂර දීර්ඝව උසුරුවනු ලැබේ. 

ඇතැම් තැනක සංයෝගයකට (හල් අකුරකට) පූර්වයේ එ, ඔ අක්‍ෂර හ්‍රස්වව උසුරුවනු ලැබේ. සංයෝගයක් යනු අතරක් නැති ව්‍යඤ්ජනාක්‍ෂර දෙකක් පැවතීමයි. වෙනත් ලෙසකට කිවහොත් හල් ව්‍යඤ්ජනයක් පැවතීමයි. 

උදා: එත්‍ථ (මෙහි එ කාරයට පසුව ත් කාරය ඇති බැවින් සංයෝගයකට පූර්වයේ ය. එබැවින් හ්‍රස්වව     උසුරුවනු ලැබේ.)

සෙය්‍යො (මෙහි ස කාරස්ථ එ කාරයට පසුව ය් කාරය පවතින බැවින් සංයෝග පූර්ව වේ. එබැවින් හ්‍රස්වව උසුරුවනු ලැබේ.) 

ඔට්ඨො (මෙහි ඔ කාරයට පසුව ට් කාරය බැවින් හ්‍රස්වව උසුරුවනු ලැබේ.) 

සොත්‍ථි (මෙහි ස කාරස්ථ ඔ කාරයට පසු ත් කාරය බැවින් හ්‍රස්වව උසුරුවනු ලැබේ.)

කෙසේ නමුත් මෙම රීතිය ද සෑම අවස්ථාවක ම අදාළ නොවේ. ඇතැම් විට සංයෝග පූර්වයේ ඇති එ ඔ අක්‍ෂර ද දීර්ඝව උසුරුවන බව දැකිය හැකි වේ.

උදා: කම්මස්සකොම්හි (දසධම්ම සූත්‍රය) - මෙහි ක කාරස්ථ ඔ කාරයට පසුව ම් කාරය පැවතුන ද කො යන්න දීර්ඝව උසුරුවනු ලැබේ.

මොග්ගල්ලායන ව්‍යාකරණය අනුව ඒ, ඕ යනුවෙන් වෙන ම දීර්ඝ ස්වර දෙකක් ද ඇති අතර ඒ අනුව ස්වර සියල්ල 10 කි. අක්‍ෂර සියල්ල 43 කි. එහෙත් කච්චායන ව්‍යාකරණය බොහෝ දෙනා අතර සම්භාවිත බැවින් මෙහි ලා අක්‍ෂර 41 ක් ඇති බව සැලකේ.

§3. ව්‍යඤ්ජන : තනිව උසුරුවිය නොහැකි, කිසියම් ස්වරයක් සමඟ එක්ව උසුරුවිය යුතු අක්‍ෂර ව්‍යඤ්ජන නම් වේ. එම ව්‍යඤ්ජනාක්‍ෂර ක්, ග් යනාදි ලෙස ඇති අතර උසුරුවීමේ දී කිසියම් ස්වරයක් සමඟ එක් කළ යුතු වේ. මෙහි දක්වා ඇත්තේ අ ස්වරය සමඟ එක් කිරීමෙනි.

මෙම ව්‍යඤ්ජනාක්‍ෂර අතරින් ක කාරයේ පටන් ම කාරය දක්වා ඇති පස්විසි අක්‍ෂරය වර්‍ගාක්‍ෂර නම් වේ. මේ සියල්ල ක වර්‍ගය ආදි කොට ඇති වර්‍ග පස (5) කි.

ක වර්‍ගය - ක, ඛ, ග, ඝ, ඞ

ච වර්‍ගය - ච, ඡ, ජ, ඣ, ඤ

ට වර්‍ගය - ට, ඨ, ඩ, ඪ, ණ

ත වර්‍ගය - ත, ථ, ද, ධ, න

ප වර්‍ගය - ප, ඵ, බ, භ, ම

සෙසු ය, ර, ල, ව, ස, හ, ළ යන අක්‍ෂර අවර්‍ගාක්‍ෂර නම් වේ.

§4. නිග්ගහීතය : අං යන්නෙහි ඇති බින්දු වර්ණය නිග්ගහීතය නම් වේ. එය තනිව යෙදිය නොහැකි බැවින් අ කාරය සමඟ යොදා තිබේ.


Friday, December 25, 2020

පාළි භාෂාවේ ක්‍රියා පද 1

 


පාළි භාෂාවේ ක්‍රියා පද 1

 වාක්‍යයක කිසියම් ක්‍රියාවක් හැඳින්වීමට යොදන අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රය සලකා, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ යන පුරුෂත්‍රය සලකා යොදන පද ක්‍රියා පද ලෙස කෙටියෙන් හැඳින්විය හැකි වේ.

උදා: ‘බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සේක’ යන වාක්‍යයේ ‘දේශනා කරන සේක’ යනු ක්‍රියා පදයයි.

පාළි භාෂාවේ ක්‍රියා පදය හෙවත් ආඛ්‍යාතය මෙසේ හැඳින්වේ.

‘යං තිකාලං තිපුරිසං ක්‍රියාවාචි තිකාරකං

අත්තිලිංගං ද්වි වචනං තදාඛ්‍යාතන්ති වුච්චති

මෙහි අදහස වන්නේ ‘අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයක් ඇති, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ යන පුරුෂත්‍රයක් ඇති, ක්‍රියාවක් කියවෙන, කර්ම, කර්තෘ, භාව යන කාරකත්‍රයක් ඇති, ලිංග භේදයක් නැති, ඒක වචන බහුවචන යනුවෙන් වචන දෙකක් ඇති යම් පදයක් වේ නම් එය ආඛ්‍යාතය’ බවයි.

උදා: ‘බුද්ධො ධම්මං දෙසෙති’ යන වාක්‍යයේ ‘දෙසෙති’ යනු ක්‍රියා පදයයි. එය පිළිබඳ ඉහත දත්ත මෙසේ දැක්විය හැකි වේ.

කාලය - වර්තමාන

පුරුෂ - ප්‍රථම පුරුෂ

කියවෙන ක්‍රියාව - දේශනා කිරීමේ ක්‍රියාව

කාරකය - කර්තෘ කාරක

වචනය - ඒක වචනය

මේ අනුව පාළි ක්‍රියාපද සාධනය තේරුම් ගැනීමට මේ එකිනෙකක් පිළිබඳ දළ අවබෝධයක් තිබිය යුතු වේ.

 

කාලත්‍රය

අතීත, වර්තමාන, අනාගත යනුවෙන් කාල තුනක් ඇති අතර ඒ එකිනෙක කාලයේ දී ක්‍රියාපදය වෙනස් වන ආකාරය විමසා බලන්න. (සැ.යු. පාළි භාෂාවේ ක්‍රියා පද භේදය විභක්ති නවයක් අනුව තවදුරටත් විස්තරාත්මකය. එය මෙහි දී විස්තර නොවේ.)

1.      අතීත කාලය - සිදු කර අවසන් ක්‍රියාවන් අතීත කාලයෙන් දැක්වේ.

උදා: බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක.

බුද්ධො ධම්මං දෙසෙසි.  (දෙසෙ‘සි’)

2.      වර්තමාන කාලය - වර්තමානයේ සිදු කරන ක්‍රියාවන් සහ පුරුද්දට හෝ සැමදිනම කරන ක්‍රියාවන් වර්තමාන කාලයෙන් දැක්වේ.

උදා: බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

බුද්ධො ධම්මං දෙසෙති. (දෙසෙ‘ති’)

3.      අනාගත කාලය - අනාගතයේ කිරීමට අදහස් කරන ක්‍රියා අනාගත කාලයෙනි.

උදා: බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේය.

බුද්ධො ධම්මං දෙසෙස්සති. (දෙසෙ‘ස්සති’)

Monday, December 21, 2020

පාළි සාහිත්‍යය 2 - දීඝනිකාය

 

දීඝනිකාය

බුද්ධ වචනය පිටක වශයෙන් විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය වශයෙන් තෙ වැදෑරුම් වන අතර නිකාය වශයෙන් දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, ඛුද්දකනිකාය යනුවෙන් පස් වැදෑරුම් වේ.

සූත්‍ර පිටකයෙහි පළමුවෙන් ම ඇත්තේ දීඝ නිකායයි. එහි බ්‍රහ්මජාල සූත්‍රය ආදි කොට ඇති සූත්‍ර 34 ක් සංගෘහිතව ඇති අතර ඒ බව සුමඞ්ගලවිලාසිනී නම් දීඝනිකාය අටුවාවේ මෙසේ සඳහන් වේ.

 ‘‘චතුත්‌තිංසේව සුත්‌තන්‌තා, තිවග්‌ගෝ යස්‌ස සඞ්‌ගහෝ;

එස දීඝනිකායෝති, පඨමෝ අනුලෝමිකෝ’’

මෙය සීලක්ඛන්ධවග්ගය, මහාවග්ගය සහ පාථිකවග්ගය යැයි වග්ග තුනකට බෙදා සංගෘහිතය. ඒ එකිනෙකෙහි සංගෘහිත සූත්‍ර ගණන මෙසේය.

 සීලක‍ඛන්ධවග්ග සූත්‍ර                13

මහාවග්ග සූත්‍ර                           10

පාථිකවග්ග (පාඨෙය්‍ය) සූත්‍ර       11

භික‍ෂු ශීලය පිළිබඳ විවරණ වන හෙයින් පළමු වර්ගය සීලක්ඛන්ධ නමිනුත් මහාසතිපට්ඨාන මහාපරිනිබ්බාන ආදි විශාල සූත්‍ර ඇතුළත් හෙයින් දෙවන වර්ගය මහාවග්ග නමිනුත් පාථිකපුත්ත නම් අචේලක තවුසෙකු මුල්කරගනිමින් දේශිත පාථික සූත්‍රයෙන් ආරම්භ කරන හෙයින් පාථිකවග්ග නමිනුත් මේවා නම් කර තිබේ.

අනිකුත් සඟි 4 හි ම සූත්‍රවලට වඩා ප්‍රමාණයෙන් දීර්ඝ වූ සූත්‍ර ඇති හෙයින් දීර්ඝාගම, දීඝනිකාය නම් විය.


සීලක්ඛන්ධවග්ගය

1. බ්‍රහ්මජාල සූත්‍රය

62 ක් වූ මිථ්‍යාදෘෂ්ටි විවරණයකි. ඉතිරි නොකොට හැම දෘෂ්ටියක්ම ඇතුළත් කොට දිට්ඨිනිවේඨනය කළ බැවින් බ්‍රහ්මජාල සූත්‍රය මුලට තබන ලදි.

2. සාමඤ්ඤඵල සූත්‍රය

අජාසත් රජු බුදුන් හමුවීමට යෑම සහ මහණකමේ ඵලයක් මෙලොවදීම දැකිය හැකිද යන ප්‍රශ්නයට ලබා දුන් පිළිතුරු ඇතුළත්ය.

3. අම්බට්ඨ සූත්‍රය

බ්‍රාහ්මණයන්ගේ මානය මැඩ ක‍ෂත්‍රිය වංශය බ්‍රාහ්මණ වංශයට වඩා උසස් යැයි ප්‍රකාශ කිරීම. අම්බට්ඨ මාණවකයාගේ ආචාර්ය වූ පොක්ඛරසාති බමුණාගේ බුදුන් සරණ යෑමත් විවරිතය.

4. සෝණදණ්ඩ සූත්‍රය

බ්‍රාහ්මණයන්ගේ පිළිගැනීම ලෙස බ්‍රාහ්මණයෙකු වීමට තිබිය යුතු අංග දැක්වේ.

5. කූටදන්ත සූත්‍රය

යාග කරනු කැමැත්තෙන් කූටදන්ත බමුණා බුදුන් වෙත එළඹ ත්‍රිවිධ යාග සම්පත්තිය ගැන විමසූ විට බුදුරජාණන් වහන්සේ පෙර බෝධිසත්ත්ව අවධියේ මහාවිජිතාවී රජු ව සත්වහිංසාව නොකොට යාග කල සැටි දේශනා කිරීම.

6. මහාලි සූත්‍රය

මහාලි නම් ලිච්ඡවී කුමරුට කිනම් අවබෝධයක් ලැබීම සඳහා මහණදම් රකිනු ලැබේ දැයි ඇසූ පැනයට පිළිතුරුත් ජීවයත් ශරීරයත් එකක් ම වේ ද යනාදි පැනයන්ට පිළිතුරුත් ඇතුළත්ය.

7. ජාලිය සූත්‍රය

ජීවයත් ශරීරයත් එකක්ම වේද යනාදි ප්‍රශ්නවලට පිළිතුරු දෙන බුදුරදුන් භික‍ෂු ප්‍රතිපත්තිය පිළිවෙලින් දක්වා රහත් ඵලය ලැබූ පසු මේ ප්‍රශ්නවලට පිළිතරු ලැඛෙන බව දක්වයි.

8. මහාසීහනාද සූත්‍රය

අන්‍යසාමයිකයන්ගේ මිථ්‍යා ප්‍රතිපත්ති රාශියක් දක්වා මැදුම් පිළිවෙතින් සංසාර විමුක්තිය ලැබිය හැකි බව දක්වයි.

9. පොට්ඨපාද සූත්‍රය - සංඥාව සහ ආත්මය විස්තර කෙරේ.

10. සුභ සූත්‍රය

බුදුන් පිරිනිවි පසු ආනන්ද තෙරුන් සැවැත්නුවර විසූ අවස්ථාවක් තෝදෙය්‍ය සිටුහුගේ පුත්‍ර සුභ මාණවකයාට දේශිතය.

11 කේවට්ට සූත්‍රය

සෘද්ධිප්‍රාතිහාර්යවලින් මිනිසුන් පැහැදවීමට වඩා යමක් අවබෝධ වන සේ කියා දී පැහැදවීම උතුම් බව පෙන්වා දෙයි. එක් භික‍ෂුවක් ප්‍රකට දෙවිරජුන් වෙත ද බ්‍රහ්මරාජයන් වෙත ද ගොස් මහාභූත සතර සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන ස්ථානය ගැන අසා අවසානයේ බුදුන් හමුවට පැමිණි විස්තර ඇතුළත් වේ.

12. ලෝහිච්ච සූත්‍රය - ලෝහිච්ච බමුණාගේ මිථ්‍යා දෘෂ්ටිය බිද දැමූ ආකාරය දැක්වේ. 

13. තේවිජ්ජ සූත්‍රය - බ්‍රාහ්මණයන්ගේ ත්‍රිවිද්‍යාව හා බෞද්ධ ත්‍රිවිද්‍යාව විස්තර වේ.

 

මතු සම්බන්ධයි.