Friday, December 25, 2020

පාළි භාෂාවේ ක්‍රියා පද 1

 


පාළි භාෂාවේ ක්‍රියා පද 1

 වාක්‍යයක කිසියම් ක්‍රියාවක් හැඳින්වීමට යොදන අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රය සලකා, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ යන පුරුෂත්‍රය සලකා යොදන පද ක්‍රියා පද ලෙස කෙටියෙන් හැඳින්විය හැකි වේ.

උදා: ‘බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සේක’ යන වාක්‍යයේ ‘දේශනා කරන සේක’ යනු ක්‍රියා පදයයි.

පාළි භාෂාවේ ක්‍රියා පදය හෙවත් ආඛ්‍යාතය මෙසේ හැඳින්වේ.

‘යං තිකාලං තිපුරිසං ක්‍රියාවාචි තිකාරකං

අත්තිලිංගං ද්වි වචනං තදාඛ්‍යාතන්ති වුච්චති

මෙහි අදහස වන්නේ ‘අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයක් ඇති, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ යන පුරුෂත්‍රයක් ඇති, ක්‍රියාවක් කියවෙන, කර්ම, කර්තෘ, භාව යන කාරකත්‍රයක් ඇති, ලිංග භේදයක් නැති, ඒක වචන බහුවචන යනුවෙන් වචන දෙකක් ඇති යම් පදයක් වේ නම් එය ආඛ්‍යාතය’ බවයි.

උදා: ‘බුද්ධො ධම්මං දෙසෙති’ යන වාක්‍යයේ ‘දෙසෙති’ යනු ක්‍රියා පදයයි. එය පිළිබඳ ඉහත දත්ත මෙසේ දැක්විය හැකි වේ.

කාලය - වර්තමාන

පුරුෂ - ප්‍රථම පුරුෂ

කියවෙන ක්‍රියාව - දේශනා කිරීමේ ක්‍රියාව

කාරකය - කර්තෘ කාරක

වචනය - ඒක වචනය

මේ අනුව පාළි ක්‍රියාපද සාධනය තේරුම් ගැනීමට මේ එකිනෙකක් පිළිබඳ දළ අවබෝධයක් තිබිය යුතු වේ.

 

කාලත්‍රය

අතීත, වර්තමාන, අනාගත යනුවෙන් කාල තුනක් ඇති අතර ඒ එකිනෙක කාලයේ දී ක්‍රියාපදය වෙනස් වන ආකාරය විමසා බලන්න. (සැ.යු. පාළි භාෂාවේ ක්‍රියා පද භේදය විභක්ති නවයක් අනුව තවදුරටත් විස්තරාත්මකය. එය මෙහි දී විස්තර නොවේ.)

1.      අතීත කාලය - සිදු කර අවසන් ක්‍රියාවන් අතීත කාලයෙන් දැක්වේ.

උදා: බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක.

බුද්ධො ධම්මං දෙසෙසි.  (දෙසෙ‘සි’)

2.      වර්තමාන කාලය - වර්තමානයේ සිදු කරන ක්‍රියාවන් සහ පුරුද්දට හෝ සැමදිනම කරන ක්‍රියාවන් වර්තමාන කාලයෙන් දැක්වේ.

උදා: බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

බුද්ධො ධම්මං දෙසෙති. (දෙසෙ‘ති’)

3.      අනාගත කාලය - අනාගතයේ කිරීමට අදහස් කරන ක්‍රියා අනාගත කාලයෙනි.

උදා: බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේය.

බුද්ධො ධම්මං දෙසෙස්සති. (දෙසෙ‘ස්සති’)

Monday, December 21, 2020

පාළි සාහිත්‍යය 2 - දීඝනිකාය

 

දීඝනිකාය

බුද්ධ වචනය පිටක වශයෙන් විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය වශයෙන් තෙ වැදෑරුම් වන අතර නිකාය වශයෙන් දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, ඛුද්දකනිකාය යනුවෙන් පස් වැදෑරුම් වේ.

සූත්‍ර පිටකයෙහි පළමුවෙන් ම ඇත්තේ දීඝ නිකායයි. එහි බ්‍රහ්මජාල සූත්‍රය ආදි කොට ඇති සූත්‍ර 34 ක් සංගෘහිතව ඇති අතර ඒ බව සුමඞ්ගලවිලාසිනී නම් දීඝනිකාය අටුවාවේ මෙසේ සඳහන් වේ.

 ‘‘චතුත්‌තිංසේව සුත්‌තන්‌තා, තිවග්‌ගෝ යස්‌ස සඞ්‌ගහෝ;

එස දීඝනිකායෝති, පඨමෝ අනුලෝමිකෝ’’

මෙය සීලක්ඛන්ධවග්ගය, මහාවග්ගය සහ පාථිකවග්ගය යැයි වග්ග තුනකට බෙදා සංගෘහිතය. ඒ එකිනෙකෙහි සංගෘහිත සූත්‍ර ගණන මෙසේය.

 සීලක‍ඛන්ධවග්ග සූත්‍ර                13

මහාවග්ග සූත්‍ර                           10

පාථිකවග්ග (පාඨෙය්‍ය) සූත්‍ර       11

භික‍ෂු ශීලය පිළිබඳ විවරණ වන හෙයින් පළමු වර්ගය සීලක්ඛන්ධ නමිනුත් මහාසතිපට්ඨාන මහාපරිනිබ්බාන ආදි විශාල සූත්‍ර ඇතුළත් හෙයින් දෙවන වර්ගය මහාවග්ග නමිනුත් පාථිකපුත්ත නම් අචේලක තවුසෙකු මුල්කරගනිමින් දේශිත පාථික සූත්‍රයෙන් ආරම්භ කරන හෙයින් පාථිකවග්ග නමිනුත් මේවා නම් කර තිබේ.

අනිකුත් සඟි 4 හි ම සූත්‍රවලට වඩා ප්‍රමාණයෙන් දීර්ඝ වූ සූත්‍ර ඇති හෙයින් දීර්ඝාගම, දීඝනිකාය නම් විය.


සීලක්ඛන්ධවග්ගය

1. බ්‍රහ්මජාල සූත්‍රය

62 ක් වූ මිථ්‍යාදෘෂ්ටි විවරණයකි. ඉතිරි නොකොට හැම දෘෂ්ටියක්ම ඇතුළත් කොට දිට්ඨිනිවේඨනය කළ බැවින් බ්‍රහ්මජාල සූත්‍රය මුලට තබන ලදි.

2. සාමඤ්ඤඵල සූත්‍රය

අජාසත් රජු බුදුන් හමුවීමට යෑම සහ මහණකමේ ඵලයක් මෙලොවදීම දැකිය හැකිද යන ප්‍රශ්නයට ලබා දුන් පිළිතුරු ඇතුළත්ය.

3. අම්බට්ඨ සූත්‍රය

බ්‍රාහ්මණයන්ගේ මානය මැඩ ක‍ෂත්‍රිය වංශය බ්‍රාහ්මණ වංශයට වඩා උසස් යැයි ප්‍රකාශ කිරීම. අම්බට්ඨ මාණවකයාගේ ආචාර්ය වූ පොක්ඛරසාති බමුණාගේ බුදුන් සරණ යෑමත් විවරිතය.

4. සෝණදණ්ඩ සූත්‍රය

බ්‍රාහ්මණයන්ගේ පිළිගැනීම ලෙස බ්‍රාහ්මණයෙකු වීමට තිබිය යුතු අංග දැක්වේ.

5. කූටදන්ත සූත්‍රය

යාග කරනු කැමැත්තෙන් කූටදන්ත බමුණා බුදුන් වෙත එළඹ ත්‍රිවිධ යාග සම්පත්තිය ගැන විමසූ විට බුදුරජාණන් වහන්සේ පෙර බෝධිසත්ත්ව අවධියේ මහාවිජිතාවී රජු ව සත්වහිංසාව නොකොට යාග කල සැටි දේශනා කිරීම.

6. මහාලි සූත්‍රය

මහාලි නම් ලිච්ඡවී කුමරුට කිනම් අවබෝධයක් ලැබීම සඳහා මහණදම් රකිනු ලැබේ දැයි ඇසූ පැනයට පිළිතුරුත් ජීවයත් ශරීරයත් එකක් ම වේ ද යනාදි පැනයන්ට පිළිතුරුත් ඇතුළත්ය.

7. ජාලිය සූත්‍රය

ජීවයත් ශරීරයත් එකක්ම වේද යනාදි ප්‍රශ්නවලට පිළිතුරු දෙන බුදුරදුන් භික‍ෂු ප්‍රතිපත්තිය පිළිවෙලින් දක්වා රහත් ඵලය ලැබූ පසු මේ ප්‍රශ්නවලට පිළිතරු ලැඛෙන බව දක්වයි.

8. මහාසීහනාද සූත්‍රය

අන්‍යසාමයිකයන්ගේ මිථ්‍යා ප්‍රතිපත්ති රාශියක් දක්වා මැදුම් පිළිවෙතින් සංසාර විමුක්තිය ලැබිය හැකි බව දක්වයි.

9. පොට්ඨපාද සූත්‍රය - සංඥාව සහ ආත්මය විස්තර කෙරේ.

10. සුභ සූත්‍රය

බුදුන් පිරිනිවි පසු ආනන්ද තෙරුන් සැවැත්නුවර විසූ අවස්ථාවක් තෝදෙය්‍ය සිටුහුගේ පුත්‍ර සුභ මාණවකයාට දේශිතය.

11 කේවට්ට සූත්‍රය

සෘද්ධිප්‍රාතිහාර්යවලින් මිනිසුන් පැහැදවීමට වඩා යමක් අවබෝධ වන සේ කියා දී පැහැදවීම උතුම් බව පෙන්වා දෙයි. එක් භික‍ෂුවක් ප්‍රකට දෙවිරජුන් වෙත ද බ්‍රහ්මරාජයන් වෙත ද ගොස් මහාභූත සතර සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන ස්ථානය ගැන අසා අවසානයේ බුදුන් හමුවට පැමිණි විස්තර ඇතුළත් වේ.

12. ලෝහිච්ච සූත්‍රය - ලෝහිච්ච බමුණාගේ මිථ්‍යා දෘෂ්ටිය බිද දැමූ ආකාරය දැක්වේ. 

13. තේවිජ්ජ සූත්‍රය - බ්‍රාහ්මණයන්ගේ ත්‍රිවිද්‍යාව හා බෞද්ධ ත්‍රිවිද්‍යාව විස්තර වේ.

 

මතු සම්බන්ධයි.

පාළි සාහිත්‍යය 1

පාළි සාහිත්‍යය 1 

 ‘පාළි’ යන අපර නාමයෙන් හඳුන්වන ශුද්ධ මාගධී භාෂාවෙන් ලියැවී ඇති සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රමාණය සුවිශාලය. බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනා සංඛ්‍යාත ත්‍රිපිටක පාළිය ද තදීය අර්ථකථා සමුච්චය ද අනුරාධපුර යුගයෙන් පසුව රචනා වූ පාළි ටීකා සාහිත්‍යය ද සෙසු වංශකථා, ව්‍යාකරණ ග්‍රන්ථ, ඡන්දොලංකාර ග්‍රන්ථ ආදි වශයෙන් රචිත ප්‍රකරණ සාහිත්‍යය ද මේ අතර වැදගත් වේ. ලොව කිසියම් භාෂාවකින් රචිත ඉපැරණි සාහිත්‍යයක් ඇත් නම් ඒ අතර ප්‍රමුඛ වන්නේ පාළි සාහිත්‍යයයි. ලොව කිසිදු ආගමකට නොමැති ආකාරයේ සුවිශාල ත්‍රිපිටක සාහිත්‍යයක් බෞද්ධයන් සතු වේ. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුතධම්ම, වෙදල්ල යන නවාංගයකින් සමන්වාගත තථාගත දේශනය සංගෘහිත ත්‍රිපිටක සාහිත්‍යය පාලි සාහිත්‍යයේ ප්‍රමුඛස්ථානය ගනී. පිටකත්‍රයකින් ද නිකාය පසකින් ද අංග නවයකින් ද ධර්මස්කන්ධ 84000 කින් ද සමන්විත වන සේ මෙම පාළි ත්‍රිපිටකය සංගෘහිත කර ඇත. තථාගත ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යොපසම්පදාව ලත් භික‍ෂු-භික‍ෂුණී උභය පාර්ශ්වය විසින් අනුගමනය කළ යුතු බුද්ධ ප්‍රඥප්ත ශික‍ෂාවන් අන්තර්ගත ග්‍රන්ථය විනය පිටකය යි. පන්සාළිස් වසරක් මුළුල්ලේ භාග්‍යවතුන් වහන්සේ විසින් විවිධ පුද්ගලයන් අරමුණු කොටගෙන විවිධ ස්ථානයන්හි අනේක ධර්ම මාතෘකාවන් ඉස්මතු කරමින් වේනෙය්‍ය ජනයන් උදෙසා ලෝක සම්මුතිය වශයෙන් දේශනා කරන ලද සූත්‍ර දේශනා සංඛ්‍යාත ධර්මය සූත්‍ර පිටකය වේ. බුද්ධත්ත්වයෙන් සත්වන වස තව්තිසා දිව්‍යලෝකයේ දී මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ දිව්‍යතාමණ්ඩලයට තුන් මාසයක් පුරාවට දේශිත ස්කන්ධ, ආයතන, ධාත‍වාදි පරමාර්ථ මාතෘකාවන් සහිත ගම්භීර වූ ධර්ම කොට්ඨාසය අභිධර්ම පිටකය නමි. මෙම ත්‍රිපිටකය නිකාය වශයෙන් පංචවිධ වේ. එනම් සූත්‍ර පිටකයේ එන පිළිවෙලට දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය හා ඛුද්දකනිකාය යනුවෙනි. ප්‍රමාණයෙන් දීර්ඝ වූ සූත්‍ර තිස් හතරක් (34) දීඝනිකායෙහි සංග්‍රහකර ඇති අතර එය සීලක්ඛන්ධවග්ගය, මහාවග්ගය, පාඨිකවග්ගය යනුවෙන් තුන් කොටසකි. ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණ වූ සූත්‍ර එකසිය පණස් දෙකක් (152) මජ්ඣිමනිකාය නම් වේ. එය ද මූලපණ්ණාසකය, මජ්ඣිමපණ්ණාසකය සහ උපරිපණ්ණාසකය යනුවෙන් කොටස් තුනක් වේ. සූත්‍ර හත්දහස් හත්සිය හැට දෙකක් (7762) සමාන දේශනා ලක්ෂණයන් අනුව සංයුක්ත ලෙස වර්ග කොට ඇත්තේ සංයුත්තනිකාය නම් වේ. එය සගාථවග්ගය, නිදානවග්ගය, ඛන්ධවග්ගය, සළායතනවග්ගය, මහාවග්ගය යනුවෙන් වග්ග පසකි. එක් එක් අංගයක් වැඩි වීම් වශයෙන් අංග අනුව සූත්‍ර වර්ගකරමින් දක්වන ලද සූත්‍ර නවදහස් පන්සිය පණස් හත (9557) අංගුත්තරනිකාය නම් වේ. එය ඒකක නිපාතයේ පටන් ඒකාදසක නිපාතය දක්වා නිපාත වශයෙන් එකොළොසකි. සූත්‍ර පිටකයේ සෙසු ග්‍රන්ථ වන ඛුද්දකපාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරිගාථා, ජාතක, නිද්දේස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංශ, චරියාපිටක යන පසළොස (15) ද විනය හා අභිධර්මය යන පිටක ද්වය ද ඛුද්දකනිකාය ලෙස හැඳින්වේ. ඒ බව සුමංගලවිලාසිනී දීඝනිකාය අටුවාවේ “ඨපෙත්වා චතුරොපෙතෙ - නිකායෙ දීඝආදිකෙ තදඤ්ඤං බුද්ධවචනං - නිකායො ඛුද්දකො මතො (සුමංගලවිලාසිනී, පි. 18)” යැයි කියන ලදී. මෙහි ‘ඛුද්දක’ යන්නෙන් අදහස් වන්නේ කුඩා ධර්ම කොටස් අන්තර්ගත බවයි. සෙසු නිකායවලට වඩා වැඩි ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇතුළත් වුව ද කුඩා ධර්ම කොටස් සංග්‍රහ කරන ලද බැවින් ‘ඛුද්දක’ යන නාමය මෙයට යෙදේ. විනයපිටකය සහ අභිධර්මය ඛුද්දකනිකායට ඇතුළත් කිරීමට සමහර කෙනෙක් අකමැති වෙති. එහෙත් සමස්ථ ත්‍රිපිටකය නිකාය වශයෙන් පංචවිධ වර්ගීකරණයකට ලක් කිරීමේ දී විනය, අභිධර්ම පිටක ද්වය ඛුද්දක නිකායට ඇතුළත් කෙරේ.

Thursday, December 3, 2020

බෞද්ධ අපි පාලි ඉගෙනගත යුතු ද....?

 බෞද්ධ අපි පාලි ඉගෙනගත යුතු ද....?


(ඡායාරූපය: අන්තර්ජාලයෙන්)

පාලි භාෂාව හෙවත් ශුද්ධමාගධී භාෂාව යනු බුදුරජාණන් වහන්සේ විසින් ත්‍රිපිටක ධර්මය දේශනා කරන ලද, වර්තමානයේ ථෙරවාදී ත්‍රිපිටකය ලියැවී ඇති භාෂාවයි. ලොව පහළ වන සියලුම බුදුවරයන් වහන්සේලා මෙම පාලි භාෂාවෙන් ධර්මය දේශනා කරන බව සඳහන් වේ. ථෙරවාදී බෞද්ධයන් ද නිතර ආගමික කටයුතු සඳහා ගමේ විහාරස්ථානය, ආරණ්‍ය සේනාසනය ඇසුරු කරගැනීමේ දී නොයෙක් ලෙස පාලි භාෂාව භාවිතා කිරීමට සිදු වේ. එහෙත් නිවැරදි මඟ පෙන්වීමකින් තොරව ඇතැම් විට කනට ඇසෙන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මේ මියුරු භාෂාව වැරදියට භාවිතා කරන අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. එය අසාධාරණ යැයි පැවසිය නොහැකිය. තමන් උපන් දා පටන් සිංහල භාෂාව හුරු පුරුදු වී සිට, ඇතැම් විට ඉංග්‍රීසි ආදි අතිරේක භාෂා ද පාසලේ උගත් නමුත් කිසි විටක පාලි භාෂාව භාෂාවක් ලෙස ඉගෙනීමට අවස්ථාවක් උදාපත් නොවිණි. දහම්පාසලේ දී ඇතැම් විට පාලි භාෂාව උගත්තේ නමුත් ඒ ඉගෙනීම ද පොතපතට පමණක් සීමා වූ අතර වැඩි දුර පාලිභාෂාව හැදෑරීමේ අවශ්‍යතාවයක් ද ඇති නොවීය. බොහෝ වේලාවට අසන්නට ලැබුණේ පාලි භාෂාව මළ භාෂාවක් යනුවෙනි. එයින් ම ඇති වූ අදහස නම් අපි කුමකට මළ භාෂාවක් ඉගෙන ගන්නේ ද?’ යන අදහසයි. එබැවින් අපේ මිනිස්සු කිසි දා පාලි භාෂාව ඉගෙනීමට නොසිතුවෝ ය. එහෙත් බොහෝ බෞද්ධයන් අඩුම තරමේ දිනකට එක් වරක් හෝ පාලි භාෂාවේ වචන කිහිපයක් භාවිතා කරන බව කිසි දා සිතුවේ ද නැත.

කුඩා කළ පටන් ඇසූ ආකාරයෙන්, තමන්ට තේරුම් ගිය ආකාරයෙන් පාලි භාෂාවේ වචන භාවිතයට ගොස් වැරදි සිදු වන අවස්ථා එමට ය. එහෙත් ඒ පිළිබඳ අවබෝධයක් නොමැති වීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන යන්නේ වැරදි භාවිතයන් සමුදායකි. පාලි නොදන්නා බහුතරයක් සිටින බැවින් එය කිසිවකුගේ අවධානයට ලක් වන්නේ ද නොවේ. පාලි දන්නා ටික දෙනා ද එය නොදුටු, නොඇසූ සේ සිටින්නේ මිනිසුන්ගේ පාලි භාෂාව කෙරෙහි ඇති අල්ප අවධානය නිසා විය හැකිය.

පාලි භාෂාව නොවැදගත් භාෂාවක් යන අදහස සමාජ ගත කිරීමට බොහෝ දෙනෙක් උත්සාහ ගන්නා බව ද වර්තමානයේ දක්නට ලැබෙන්නකි. නොදන්නා භාෂාවකින් ගිරවුන් මෙන් කියවනවාට වඩා දන්නා සිංහලෙන් භාවිතය නොවැදගත් දැ යි බොහෝ දෙනෙක් නගන පැනයයි. ඒ සංස්කෘතික ව්‍යාප්තියේ ප්‍රතිඵලය ලෙස පිරිත් දේශන ද සිංහලෙන් ඇරඹිණි. පිරිත් දේශනය සිංහලෙන් සිදු කිරීම සුදුසු යැයි කියන අය ඒ සඳහා ඉදිරිපත් කරන තර්කය වන්නේ සිංහල භාෂාවෙන් කියවන විට එය හොඳින් තේරුම් යන බවයි. එහෙත් පිරිත යන වචනයේ අර්ථය හෝ ඒ පිරිත් අසන්නන් දැන සිටියේ දැයි සිතිය යුතු වේ.

සා මාගධී මූලභාසා

 



සා මාගධී මූලභාසා නරා යායාදිකප්පිකා

බ්‍රහ්මානො චස්සුතාලාපා සම්බුද්ධා චාපි භාසරෙ

 

මාගධීභාෂාව සිද්ධාර්ථ කුමාරයන්හට ස්වභාෂාව වතු දු උන්වහන්සේගේ බුද්ධාවස්ථාවෙන් පසු නම් (බුද්ධපරම්පරාගත) ස්වභාෂාව පාලිභාෂාවමය. වෙදයට සංස්කෘතය මෙන්ම බුද්ධධර්මයට යෝග්‍ය භාෂාව පාලි හෙවත් මාගධීභාෂාවමය. මූලභාෂාව සම්බන්ධයෙන් ප්‍රාඥයන්ගේ මතාන්තරයෝ බොහෝ වෙත්. ග්‍රන්ථාන්තරයන්හි ඒ සම්බන්ධයෙන් මොනමොනකරුණු දක්වන ලද නමුත් බුද්ධධර්මය සම්බන්ධ පොත්පත් කෙරෙහි විශ්වාසය තබන්නවුන් විසින් නම් එක්කෝ පාලිභාෂාවම මූලභාෂාවයයි පිළිගත යුතුය. නැත්නම් සමහර ප්‍රධාන බණපොත් කෙරෙහි ද තත්කර්තෘන් කෙරෙහි ද විශ්වාසය නොතැබිය යුතුය. පාලිභාෂාව මූලභාෂාව වශයෙන් දක්වන්නෝ එයට ප්‍රධාන හේතු වශයෙන් කරුණු තුනක් දක්වති.

1.      ආදිකල්පිකයන් ව්‍යවහෘත භාෂාවය

2.      බ්‍රහ්මයන් ව්‍යවහෘත භාෂාවය

3.      ලදරුවන් ව්‍යවහෘත භාෂාවය. යනුයි.

ඇතැම් කෙනෙකුන් විසින් මේ පිළිබඳව යම් යම් ප්‍රශ්නයන් ඉපදවිය හැකි නමුත් බෞද්ධලොකයාගේ ගෞරවනමස්කාරයට භාජනය වූ බුද්ධවචනයත් තදර්ථකථාත් භාරගන්නවුන් වශයෙන් අප විසින් කියයුත්තේ ලොකයෙහි මූලභාෂාව නම් මාගධාපරනාමධෙය පාලිභාෂාව ම බවය.