පාළි භාෂාවේ ක්‍රියා පද 1
වාක්‍යයක කිසියම් ක්‍රියාවක් හැඳින්වීමට යොදන අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රය සලකා, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ යන පුරුෂත්‍රය සලකා යොදන පද ක්‍රියා පද ලෙස කෙටියෙන් හැඳින්විය හැකි වේ.
උදා: ‘බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සේක’ යන වාක්‍යයේ ‘දේශනා කරන සේක’ යනු ක්‍රියා පදයයි.
පාළි භාෂාවේ ක්‍රියා පදය හෙවත් ආඛ්‍යාතය මෙසේ හැඳින්වේ.
‘යං තිකාලං තිපුරිසං ක්‍රියාවාචි තිකාරකං
අත්තිලිංගං ද්වි වචනං තදාඛ්‍යාතන්ති වුච්චති’
මෙහි අදහස වන්නේ ‘අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයක් ඇති, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ යන පුරුෂත්‍රයක් ඇති, ක්‍රියාවක් කියවෙන, කර්ම, කර්තෘ, භාව යන කාරකත්‍රයක් ඇති, ලිංග භේදයක් නැති, ඒක වචන බහුවචන යනුවෙන් වචන දෙකක් ඇති යම් පදයක් වේ නම් එය ආඛ්‍යාතය’ බවයි.
උදා: ‘බුද්ධො ධම්මං දෙසෙති’ යන වාක්‍යයේ ‘දෙසෙති’ යනු ක්‍රියා පදයයි. එය පිළිබඳ ඉහත දත්ත මෙසේ දැක්විය හැකි වේ.
කාලය - වර්තමාන
පුරුෂ - ප්‍රථම පුරුෂ
කියවෙන ක්‍රියාව - දේශනා කිරීමේ ක්‍රියාව
කාරකය - කර්තෘ කාරක
වචනය - ඒක වචනය
මේ අනුව පාළි ක්‍රියාපද සාධනය තේරුම් ගැනීමට මේ එකිනෙකක් පිළිබඳ දළ අවබෝධයක් තිබිය යුතු වේ.
කාලත්‍රය
අතීත, වර්තමාන, අනාගත යනුවෙන් කාල තුනක් ඇති අතර ඒ එකිනෙක කාලයේ දී ක්‍රියාපදය වෙනස් වන ආකාරය විමසා බලන්න. (සැ.යු. පාළි භාෂාවේ ක්‍රියා පද භේදය විභක්ති නවයක් අනුව තවදුරටත් විස්තරාත්මකය. එය මෙහි දී විස්තර නොවේ.)
1. අතීත කාලය - සිදු කර අවසන් ක්‍රියාවන් අතීත කාලයෙන් දැක්වේ.
උදා: බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක.
බුද්ධො ධම්මං දෙසෙසි. (දෙසෙ‘සි’)
2. වර්තමාන කාලය - වර්තමානයේ සිදු කරන ක්‍රියාවන් සහ පුරුද්දට හෝ සැමදිනම කරන ක්‍රියාවන් වර්තමාන කාලයෙන් දැක්වේ.
උදා: බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.
බුද්ධො ධම්මං දෙසෙති. (දෙසෙ‘ති’)
3. අනාගත කාලය - අනාගතයේ කිරීමට අදහස් කරන ක්‍රියා අනාගත කාලයෙනි.
උදා: බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේය.
බුද්ධො ධම්මං දෙසෙස්සති. (දෙසෙ‘ස්සති’)




