
පාළි සාහිත්‍යය
‘පාළි’ යන අපර නාමයෙන් හඳුන්වන ශුද්ධ මාගධී භාෂාවෙන් ලියැවී ඇති සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රමාණය සුවිශාලය. බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනා සංඛ්‍යාත ත්‍රිපිටක පාළිය ද තදීය අර්ථකථා සමුච්චය ද අනුරාධපුර යුගයෙන් පසුව රචනා වූ පාළි ටීකා සාහිත්‍යය ද සෙසු වංශකථා, ව්‍යාකරණ ග්‍රන්ථ, ඡන්දොලංකාර ග්‍රන්ථ ආදි වශයෙන් රචිත ප්‍රකරණ සාහිත්‍යය ද මේ අතර වැදගත් වේ.
ලොව කිසියම් භාෂාවකින් රචිත ඉපැරණි සාහිත්‍යයක්
ඇත් නම් ඒ අතර ප්‍රමුඛ වන්නේ පාළි සාහිත්‍යයයි. ලොව කිසිදු ආගමකට නොමැති ආකාරයේ
සුවිශාල ත්‍රිපිටක සාහිත්‍යයක් බෞද්ධයන් සතු වේ. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා,
උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුතධම්ම, වෙදල්ල යන නවාංගයකින් සමන්වාගත තථාගත දේශනය සංගෘහිත
ත්‍රිපිටක සාහිත්‍යය පාලි සාහිත්‍යයේ ප්‍රමුඛස්ථානය ගනී. පිටකත්‍රයකින් ද නිකාය
පසකින් ද අංග නවයකින් ද ධර්මස්කන්ධ 84000 කින් ද සමන්විත වන සේ මෙම පාළි ත්‍රිපිටකය
සංගෘහිත කර ඇත.
තථාගත ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යොපසම්පදාව ලත් භිකෂු-භිකෂුණී උභය පාර්ශ්වය විසින්
අනුගමනය කළ යුතු බුද්ධ ප්‍රඥප්ත ශිකෂාවන් අන්තර්ගත ග්‍රන්ථය විනය පිටකය යි.
පන්සාළිස් වසරක් මුළුල්ලේ භාග්‍යවතුන් වහන්සේ විසින් විවිධ පුද්ගලයන් අරමුණු
කොටගෙන විවිධ ස්ථානයන්හි අනේක ධර්ම මාතෘකාවන් ඉස්මතු කරමින් වේනෙය්‍ය ජනයන් උදෙසා ලෝක සම්මුතිය වශයෙන් දේශනා
කරන ලද සූත්‍ර දේශනා සංඛ්‍යාත ධර්මය සූත්‍ර පිටකය වේ.
බුද්ධත්ත්වයෙන් සත්වන වස තව්තිසා දිව්‍යලෝකයේ දී මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ දිව්‍යතාමණ්ඩලයට
තුන් මාසයක් පුරාවට දේශිත ස්කන්ධ, ආයතන, ධාතවාදි පරමාර්ථ මාතෘකාවන් සහිත ගම්භීර වූ ධර්ම කොට්ඨාසය අභිධර්ම පිටකය නමි.
මෙම ත්‍රිපිටකය නිකාය වශයෙන් පංචවිධ වේ. එනම් සූත්‍ර
පිටකයේ එන පිළිවෙලට දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය හා
ඛුද්දකනිකාය යනුවෙනි. ප්‍රමාණයෙන් දීර්ඝ වූ සූත්‍ර තිස් හතරක් (34) දීඝනිකායෙහි
සංග්‍රහකර ඇති අතර එය සීලක්ඛන්ධවග්ගය, මහාවග්ගය, පාඨිකවග්ගය යනුවෙන් තුන් කොටසකි. ප්‍රමාණයෙන්
මධ්‍යම ප්‍රමාණ වූ සූත්‍ර එකසිය පණස් දෙකක් (152) මජ්ඣිමනිකාය නම් වේ. එය ද
මූලපණ්ණාසකය, මජ්ඣිමපණ්ණාසකය සහ උපරිපණ්ණාසකය යනුවෙන් කොටස් තුනක් වේ. සූත්‍ර හත්දහස් හත්සිය හැට දෙකක් (7762) සමාන
දේශනා ලක්ෂණයන් අනුව සංයුක්ත ලෙස වර්ග කොට ඇත්තේ සංයුත්තනිකාය නම් වේ. එය
සගාථවග්ගය, නිදානවග්ගය, ඛන්ධවග්ගය, සළායතනවග්ගය, මහාවග්ගය යනුවෙන් වග්ග පසකි. එක් එක් අංගයක් වැඩි වීම් වශයෙන් අංග අනුව සූත්‍ර
වර්ගකරමින් දක්වන ලද සූත්‍ර නවදහස් පන්සිය පණස් හත (9557) අංගුත්තරනිකාය නම් වේ.
එය ඒකක නිපාතයේ පටන් ඒකාදසක නිපාතය දක්වා නිපාත වශයෙන් එකොළොසකි. සූත්‍ර පිටකයේ
සෙසු ග්‍රන්ථ වන ඛුද්දකපාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු,
පෙතවත්ථු, ථෙරගාථා, ථෙරිගාථා, ජාතක, නිද්දේස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංශ,
චරියාපිටක යන පසළොස (15) ද විනය හා අභිධර්මය යන පිටක ද්වය ද ඛුද්දකනිකාය ලෙස හැඳින්වේ.
ඒ බව සුමංගලවිලාසිනී දීඝනිකාය අටුවාවේ
“ඨපෙත්වා චතුරොපෙතෙ - නිකායෙ දීඝආදිකෙ
තදඤ්ඤං
බුද්ධවචනං - නිකායො ඛුද්දකො මතො (සුමංගලවිලාසිනී, පි. 18)”
යැයි කියන ලදී.
මෙහි
‘ඛුද්දක’ යන්නෙන් අදහස් වන්නේ කුඩා ධර්ම කොටස් අන්තර්ගත බවයි. සෙසු නිකායවලට වඩා
වැඩි ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇතුළත් වුව ද කුඩා ධර්ම කොටස් සංග්‍රහ කරන ලද බැවින්
‘ඛුද්දක’ යන නාමය මෙයට යෙදේ.
විනයපිටකය
සහ අභිධර්මය ඛුද්දකනිකායට ඇතුළත් කිරීමට සමහර කෙනෙක් අකමැති වෙති. එහෙත් සමස්ථ ත්‍රිපිටකය
නිකාය වශයෙන් පංචවිධ වර්ගීකරණයකට ලක් කිරීමේ දී විනය, අභිධර්ම පිටක ද්වය ඛුද්දක
නිකායට ඇතුළත් කෙරේ.
දීඝනිකාය
බුද්ධ වචනය පිටක වශයෙන් විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය වශයෙන් තෙ වැදෑරුම් වන අතර නිකාය වශයෙන් දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, ඛුද්දකනිකාය යනුවෙන් පස් වැදෑරුම් වේ.
සූත්‍ර පිටකයෙහි පළමුවෙන් ම ඇත්තේ දීඝ නිකායයි. එහි බ්‍රහ්මජාල සූත්‍රය ආදි කොට ඇති සූත්‍ර 34 ක් සංගෘහිතව ඇති අතර ඒ බව සුමඞ්ගලවිලාසිනී නම් දීඝනිකාය අටුවාවේ මෙසේ සඳහන් වේ.
‘‘චතුත්‌තිංසේව සුත්තන්තා, තිවග්ගෝ යස්‌ස සඞ්‌ගහෝ;
එස දීඝනිකායෝති, පඨමෝ අනුලෝමිකෝ’’
මෙය සීලක්ඛන්ධවග්ගය, මහාවග්ගය සහ පාථිකවග්ගය යැයි වග්ග තුනකට බෙදා සංගෘහිතය. ඒ එකිනෙකෙහි සංගෘහිත සූත්‍ර ගණන මෙසේය.
සීලකඛන්ධවග්ග සූත්‍ර 13
මහාවග්ග සූත්‍ර 10
පාථිකවග්ග (පාඨෙය්‍ය) සූත්‍ර 11
භිකෂු ශීලය පිළිබඳ විවරණ වන හෙයින් පළමු වර්ගය සීලක්ඛන්ධ නමිනුත් මහාසතිපට්ඨාන මහාපරිනිබ්බාන ආදි විශාල සූත්‍ර ඇතුළත් හෙයින් දෙවන වර්ගය මහාවග්ග නමිනුත් පාථිකපුත්ත නම් අචේලක තවුසෙකු මුල්කරගනිමින් දේශිත පාථික සූත්‍රයෙන් ආරම්භ කරන හෙයින් පාථිකවග්ග නමිනුත් මේවා නම් කර තිබේ.
අනිකුත් සඟි 4 හි ම සූත්‍රවලට වඩා ප්‍රමාණයෙන් දීර්ඝ වූ සූත්‍ර ඇති හෙයින් දීර්ඝාගම, දීඝනිකාය නම් විය.
සීලක්ඛන්ධවග්ගය
1. බ්‍රහ්මජාල සූත්‍රය
62 ක් වූ මිථ්‍යාදෘෂ්ටි විවරණයකි. ඉතිරි නොකොට හැම දෘෂ්ටියක්ම ඇතුළත් කොට දිට්ඨිනිවේඨනය කළ බැවින් බ්‍රහ්මජාල සූත්‍රය මුලට තබන ලදි.
2. සාමඤ්ඤඵල සූත්‍රය
අජාසත් රජු බුදුන් හමුවීමට යෑම සහ මහණකමේ ඵලයක් මෙලොවදීම දැකිය හැකිද යන ප්‍රශ්නයට ලබා දුන් පිළිතුරු ඇතුළත්ය.
3. අම්බට්ඨ සූත්‍රය
බ්‍රාහ්මණයන්ගේ මානය මැඩ කෂත්‍රිය වංශය බ්‍රාහ්මණ වංශයට වඩා උසස් යැයි ප්‍රකාශ කිරීම. අම්බට්ඨ මාණවකයාගේ ආචාර්ය වූ පොක්ඛරසාති බමුණාගේ බුදුන් සරණ යෑමත් විවරිතය.
4. සෝණදණ්ඩ සූත්‍රය
බ්‍රාහ්මණයන්ගේ පිළිගැනීම ලෙස බ්‍රාහ්මණයෙකු වීමට තිබිය යුතු අංග දැක්වේ.
5. කූටදන්ත සූත්‍රය
යාග කරනු කැමැත්තෙන් කූටදන්ත බමුණා බුදුන් වෙත එළඹ ත්‍රිවිධ යාග සම්පත්තිය ගැන විමසූ විට බුදුරජාණන් වහන්සේ පෙර බෝධිසත්ත්ව අවධියේ මහාවිජිතාවී රජු ව සත්වහිංසාව නොකොට යාග කල සැටි දේශනා කිරීම.
6. මහාලි සූත්‍රය
මහාලි නම් ලිච්ඡවී කුමරුට ‘කිනම් අවබෝධයක් ලැබීම සඳහා මහණදම් රකිනු ලැබේ දැ’යි ඇසූ පැනයට පිළිතුරුත් ‘ජීවයත් ශරීරයත් එකක් ම වේ ද’ යනාදි පැනයන්ට පිළිතුරුත් ඇතුළත්ය.
7. ජාලිය සූත්‍රය
ජීවයත් ශරීරයත් එකක්ම වේද යනාදි ප්‍රශ්නවලට පිළිතුරු දෙන බුදුරදුන් භිකෂු ප්‍රතිපත්තිය පිළිවෙලින් දක්වා රහත් ඵලය ලැබූ පසු මේ ප්‍රශ්නවලට පිළිතරු ලැඛෙන බව දක්වයි.
8. මහාසීහනාද සූත්‍රය
අන්‍යසාමයිකයන්ගේ මිථ්‍යා ප්‍රතිපත්ති රාශියක් දක්වා මැදුම් පිළිවෙතින් සංසාර විමුක්තිය ලැබිය හැකි බව දක්වයි.
9. පොට්ඨපාද සූත්‍රය - සංඥාව සහ ආත්මය විස්තර කෙරේ.
10. සුභ සූත්‍රය
බුදුන් පිරිනිවි පසු ආනන්ද තෙරුන් සැවැත්නුවර විසූ අවස්ථාවක් තෝදෙය්‍ය සිටුහුගේ පුත්‍ර සුභ මාණවකයාට දේශිතය.
11 කේවට්ට සූත්‍රය
සෘද්ධිප්‍රාතිහාර්යවලින් මිනිසුන් පැහැදවීමට වඩා යමක් අවබෝධ වන සේ කියා දී පැහැදවීම උතුම් බව පෙන්වා දෙයි. එක් භිකෂුවක් ප්‍රකට දෙවිරජුන් වෙත ද බ්‍රහ්මරාජයන් වෙත ද ගොස් මහාභූත සතර සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන ස්ථානය ගැන අසා අවසානයේ බුදුන් හමුවට පැමිණි විස්තර ඇතුළත් වේ.
12. ලෝහිච්ච සූත්‍රය - ලෝහිච්ච බමුණාගේ මිථ්‍යා දෘෂ්ටිය බිද දැමූ ආකාරය දැක්වේ.
13. තේවිජ්ජ සූත්‍රය - බ්‍රාහ්මණයන්ගේ ත්‍රිවිද්‍යාව හා බෞද්ධ ත්‍රිවිද්‍යාව විස්තර වේ.
මතු සම්බන්ධයි.

No comments:
Post a Comment